සිනමා අඹරේ අමරණීය රිදී රේඛාව ! ආචාර්යය ලෙස්ටර් ජේම්ස් පීරිස්
🎬🎞️🎥 2018.05.05
ශ්‍රී ලංකාවේ බිහිවූ අග්‍රගන්‍ය මහා සිනමාකරු ආචාර්යය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් අභාවප්‍රාප්ත වී අදට සත් දිනකි. පසුගිය අප්‍රේල් 5 වෙනිදා සිය 99 වෙනි ජන්ම දිනය සැමරූ එතුමන් දිගු කලක් රෝගීව දුර්වලව සිට අප්‍රේල් 29 වනදා දැයෙන් සමුගෙන ගියහ..
මේ මහා සිනමාකරු ජීවිතයේ එක් වරක් හෝ හමුවන්නට යමකුට අවස්තාවක් ලැබුනිද, ඒ තැනැත්තා ඉතා වසනාවන්තයකු විය යුතුමය. මා එසේ කියන්නේ, එම භාග්‍ය ලද අයකු ලෙස මා ලත් අත්දැකීම් ඇසුරිනි. එබැවින් එතුමා වෙනුවෙන් මෙම සටහන තිබීමට සිත් විය...
==සිනමාව සහ එහි භාවිතය==
එවක මා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකුව සිටි කාලයි. මාගේ විෂය පථයට සෘජුව සම්බන්ධ නොවුවද “සිනමාව සහ එහි භාවිතය” මා ඉතා ප්‍රිය කළ විෂයක් විය. ඒ සම්බන්ධ වූ බොහෝ පොත් පත් විද්‍යාලංකාර පුස්තකාගාරය පරිශීලනය කරමින් කියෙව්වෙමි. මේ අතර “ලාංකේය සිනමාවේ කාන්තා නියෝජනය” නමින් පර්යේෂණාත්මක නිබන්ධනයක් කිරීම සඳහා මට අවස්ථාව හිමි විය. මගේ නිබන්ධන අධීක්ෂක ලෙස සිටියේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය (නැසීගිය)මැණික් ගුණසේකර මැතිණියයි. ඇයට මාගේ තෝරා ගැනීම සාධාරණීකරණය කිරීම භාරධූර කර්තව්‍යක් විය. ඒ යම් කිසිවක් අවාට ගියාට අනුමත කිරීමේ පුරුද්දක් ඇයට නොතිබූ බැවිනි. කෙසේවෙතත් මාගේ යම් කරුණු දැක්වීම් වලින් අනතුරුව ඇය සෑහීමකට පත්වූ අතර මගේ නිබන්ධනයට අනුමැතිය ලබාදුන්නාය.
මේ මහා සිනමාකරු හමුවීමේ භාග්‍ය මට උදාවන්නේ ඉන් අනතුරුවය.....
==සරල සුන්දර නිවහන ==
එය 2005 වසරේ ජුනි මස සෙනසුරාදා දිනකි .එදින උදෑසන මට යෙදී තිබූ වැදගත් සම්මුඛ සාකච්ජාවක් විය. එබැවින් වහාම බස් රථයේ නැගී පිටත්ව පැයක පමන ගමනකින් පසු බම්බලපිටිය හන්දිය පසුකර ඩික්මන් පාරෙන් බැස ගතිමි. පාරේ පිහිටි බොහෝ නිවාස පරීක්ෂා කිරීමෙන් අනතුරුව මට අවශ්‍ය ලිපිනය සොයාගැනීමට හැකිවිය.
විශාල තාප්ප වලින් වටවූ ,සුවිසල් මැදුරක් වැනි නිවසක් මා බලාපොරොත්තු වුවද , දක්නට ලැබුනේ ගහ කොළ වලින් හැඩ වූ සරල, සුන්දර නිවහනකි . කුඩා යකඩ ගේට්ටුවක් නිවස ඉදිරියේ විය. මම එයට තට්ටු කර කිසිවෙක් පැමිණෙන තුරු බලා සිටියෙමි. එක්වරම හීන්දෑරි කාන්තාවක් පැමිණ සිනාසී ගේට්ටුව විවර කලාය.“මම ආවේ සුමිත්‍රා මැඩම් හම්බවෙන්න.” ඇයට පැවසුවෙමි. ඇය නොපැකිලව මා ගෙතුලට කැඳවාගෙන ගොස් සාලයේ වාඩි වීමට ඉඩ සැලසීය. “මම මැඩම් ට කියන්නම්” යි කියා ඇය නික්ම ගියාය.
නිවසේ සාලය මධ්‍යයෙහි වූයේ විශාල පොත් රාක්කයකි, කලාත්මක කැටයම් හා භාණ්ඩ , විවිධ ජායාරුප , සම්මාන වලින් හැඩ වූ රාක්ක ආදී කොට ඇති ඔවුන්ගේ සිනමා ජීවිතයේ බොහෝ සොඳුරු සටහන් ඒ තුල විය . නාගරීකරණය වූ කොළඹ , තිඹිරිගස්යාය වැනි වටපිටාවක මෙවැනි නිවසක් තිබීම සැබවින්ම පුදුමයෙකියි මට සිතුනි .
==රිදී රේඛාවේ ආලෝකය ==
සිතුවිලි වල නිගමනව සිටි මට කිසිවෙකු පැමිණෙන හඬ ඇසිණි. ඉතා සෙමින් පා තබමින් පැමිණි ඔහුගේ අතෙහි පොතක් විය. රවුම් උපැස් යුවලක් පැළඳ සිටී ඔහුගේ මුව ප්‍රසන්න සිනහවකින් සැරසී තිබිණ . නියම ඉංග්‍රීසි කාරයකු මෙන් ඔහු හැද පැළද සිටියේය. මා දුටු ඔහු සිනාසී “Hello Good Morning young lady!! Are you here to meet me ?” යි ඇසීය. හිඳ සිටි අසුනෙන් වහා නැගිටි මම ඔහුට ආචාර කරමින් “Very good morning to you Sir ! In fact, I have come to meet Madam Sumitra, for my assignment” යි කීවෙමි. ඊට පිළිතුරු දෙමින් “Oh I see .. then let’s wait for her.. she will be here soon” කියමින් අසල තිබූ ඇඳි පුටුවේ හාන්සි විය.
හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මට හමුවුයේ එලෙසය...
එතැන් පටන් සැලකියයුතු කාලයක් මේ මහා සිනමාකරුවා සමග කතිකා කරමින් ගත කිරීමට මට අවස්තාව ලැබිණ. මාගේ උපාධි නිබන්ධනය ගැන ඔහු ඉතා උද්යෝගයෙන් කතා කළේය. මා විසින් තෝරා ගත් “Representation of women in Sri Lankan Cinema” (ලාංකේය සිනමාවේ කාන්තා නියෝජනය) යන ප්‍රස්තුතය සම්බන්ධව ඔහුගේ විචාරාත්මක අදහස් රැසක් ගෙනහැර පෑවේය . විවිධ සිනමා නිර්මාන ඇසුරෙන් කාන්තා නියෝජනය සිදු කර ඇති ආකාරය ඉතා විදග්ධ ලෙස විවරණය කිරීම ඔහුට හොඳ මාතෘකාවක් වුවා පමණක් නොව විශාල උනන්දුවකින් ඒ ගැන විවිද පැතිකඩ ඔස්සේ විචාරය කිරීමට තරම් විස්මිත දැනුම් සම්භාරයක් මේ මහා සිනමා වේදියා සතු විය.
==අතීතාවර්ජන ==
මේ අතරේ සුමිත්‍රා පීරීස් මහත්මිය එතැනට පැමිණියාය, ඇගේ පැමිණීමෙන් අපගේ සංවාදයට නව ජීවයක් ලැබුණි. ඇයද මාගේ තොරතුරු විමසීමෙන් පසු සිංහල සිනමාවේ චිත්‍රපට ඇසුරින් කාන්තාව නියෝජනය වීම පිලිබඳ ඇගේ අදහස් ප්‍රකාශ කලාය. මගේ පාසල සිරිකුරුස විද්‍යාලය බව දැනගත් සුමිත්‍රා පීරීස් මහත්මිය , එවක මගේ පාසලේ සිසුවියක් වූ වසන්ති චතුරානිව ඇය ගඟ අද්දර සිනමා පටයට තෝරා ගැනීමට ලැබුණු ඒ සුන්දර සිදුවීම සිහි කලාය.
“I had finished the auditions with the school girls that day and we were having a break before leaving. suddenly I saw a girl eating an ice cream with her friends. I knew, at that instant, I found my character” මේ කතාව කියන මොහොතේ අපි තේ පානය කරමින් සිටි අතර , ඉතා සතුටින් ඊට සවන් දී සිටියෙමු.
“I had finished the auditions with the school girls that day and we were having a break before leaving. suddenly I saw a girl eating an ice cream with her friends. I knew, at that instant, I found my character” මේ කතාව කියන මොහොතේ අපි තේ පානය කරමින් සිටි අතර , ඉතා සතුටින් ඊට සවන් දී සිටියෙමු.
තම සිනමා නිර්මාණ , සිනමාවට දායාද කළ නළු නිලියන් ගැන ඔවුහු ඉතා දැඩි ආදරයකින් කතා කළහ. තම දරුවන්ගේ දියුණුව දැක නිහතමානීව සතුටු වන දෙමව්පියන් දෙදෙනෙකු ඒ මොහොතේ ඔවුන් තුලින් මම දුටිමි.එදා ඒ සංවාදය එවැනි රසබර කතා රැසකින් පිරී තිබුනා පමණක් නොව ඉතා වටිනා අදහස් වලින් සුපෝෂිත එකක් විය.
අවසානයේ මා ඔවුන්ගෙන් සමුගත්තේ සවස දෙක හමාරද පසුවී ගොස්ය. මා නිවසින් පිටවීමට පෙර එම ආදරණීය යුවලට මට ලබාදුන් සහයෝගයට මුලු හදවතින්ම ස්තුති කලෙමි. මගේ නිබන්ධනයට අවශ්‍ය කරුණු දැන ගැනීමට නැවත ඕනෑම වෙලාවක ඔවුන් අමතන්න යයි මා හට පැවසූ බව ද ගෞරවයෙන් සිහිපත් කරමි.
==ප්‍රංශය සමග ආත්මීය සම්බන්දතාවක වෙලී ==
ජීවිතය නම් සිනමා සිත්තම නිමකොට ලක් අඹරින් බැස ගිය මේ මහා සිනමා වේදියා සම කල හැක්කේ ලෝ සුපතල සත්‍යජිත් රායි, අකිරා කුරොසාවා වැනි වැනි යථාර්තවාදී සිනමා කරුවන් හා සමගාමීවය.
ප්‍රංශ රජය විසින් ශ්‍රේෂ්ට කලාකරුවන් වෙත පුදන “කොමොන්දර්” නමැති සම්මානය Commandeur (commander) in the Ordre des Arts et des Lettres (Order of Arts and Letters) from the French government (1997) සහ යුනෙස්කෝව විසින් ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේ දී ලෝක සිනමා විශිෂ්ඨයන් සඳහා පුදන “ෆෙලිනි රන් සම්මානයෙන්” "Fellini Gold Medal" Awarded by UNESCO for outstanding film career 2003 එතුමා පිදුම් ලැබීම සහ ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේ දී “පල්මදෝර්” Palme d'Or at the 1957 Cannes Film Festival සඳහා නිර්දේශ වීම ඔහුගේ සිනමාවේ විශිස්ටත්වය පෙන්වුම් කරයි .
ප්‍රංශය සමග ඔහුට තිබූයේ ආත්මීය සම්බන්දතාවකි. සිය පියඹ සුමිත්‍රා මුණගැසීමේ සිට ඔහු ලැබූ විශිෂ්ටම ජ්‍යාත්‍යන්තර සම්මාන හිමිවුයේ ප්‍රංශයෙන් වීම විශේෂත්වයකි.
==සරල ,සුන්දර, ප්‍රඥාවන්ත මිනිසා ==
අවශ්‍යනම් සුවිසල් මැදුරු තනාගෙන , අධි සුඛෝපබෝගී ජීවිතයක් ගත කිරීම වෙනුවට ඔහු ගෙවූ සුන්දර , සරල ආදර්ශමත් දිවිය ඔහුගේ ජීවිතඥානය විහිදන කැඩපතක් බඳුය. ඔවුහු දෙපල කොතරම් ආදරයකින් , ගෞරවයකින් ජීවත්වුයේද යන්න බොහෝ දෙනා දනිති.
නියම ඉංග්‍රීසි කාරයකු ලෙස හැදී වැඩී සිංහල සංස්කෘතියේ අනන්‍යතාව සිය සිනමාව තුලින් මනාව පිළිබිඹු කළ ඔහු වැනි වෙනත් සිනමාකරුවකු ගැන සිතීමට නොහැකිය.
ඒ සියල්ලටම වඩා, මේ මහා සිනමාකරුවා තුල ජීවත්වූ සරල සුන්දර ප්‍රඥාවන්ත මිනිසාට මම වඩාත් ප්‍රිය කරමි...
සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව පසක් කල ගෞතම බුදුන්ගේ තෙමගුල සමරන වෙසක් පුන් පොහෝ දිනක එතුමන් අප අතරින් වියෝ වීම එක්තරා දෛවෝපගත සිදුවීමකි.
රණ මයුරය සොරා ගත්ත ද , ඔහුගේ සිනමාව කිසිවකුට කිසිදා සොරාගත නොහැක.. අහිමිවූ රණ මයුරය නැවත හමුවීමෙන්ම එය පැහැදිලි වේ...
ජාතියක් ලෙස අප එතුමන්ට සදා ණයගැතිය !! සිනමා අඹරින් මැකී ගිය මෙම රිදී රේඛාව අප හදවත් තුල සදා අමරණීය වනු ඇත !
මැතිදුනි , ඔබට නිවන් සුව !!
මැතිදුනි , ඔබට නිවන් සුව !!
Adieu #LJP
💐Until we meet again in this long journey of Samsara, someday some where... !!
🙏
-
📽️Sara26-



No comments:
Post a Comment